Monday, January 28, 2013

ගැලරියෙ සිට සුසුම් හෙලීම.


දිළින්දන්

(අන්තර්ජාලයෙනි )
ඔබත් මමත් ජීවත් වන ලෝකය තුල සියලු සම්පත් සමසේ තුලනාත්මකව බෙදී ගොස් නැත. ලොව ඇති දැවෙන ප්‍රශ්න සියල්ලටම හේතුව සමානාත්මතාවක් නොමැති කමය. එකම සංයුතියෙන් මිනිසුන්ලෙස උපත ලැබූ අපි ඇති නැති ලෙස බෙදී සිටින්නවුන් වෙමු. ලොව දිළින්දන් ලෙස හඳුන්වනු ලබන නිරණයක කොතෙක් උවත්, අපි සියල්ලන්ම දිළින්දන් වෙමු. මන්ද මොන දේවල් වලින් පරිපුර්ණ වී සිටියද  ඔබත් මමත් අපට අහිමි දෙයක් ගැන සිතමින් සිටින නිසාවෙනි. එහෙත් මේ කතාව එය නොවේ.

මේ සටහන කියවන ඔබටත් මටත් තමන්ගේ මුලික අවශ්‍යතා ඉටු කරගැනීමට තවත් කෙනෙකු මත යැපීමට සිදු නොවේ යයි මම සිතමි. (තවමත් දෙමාපියන්ගෙන් පෝෂණය වන දරුවන් වන ඔබ පෝෂණය කරන්නේ ඔබේ දෙමාපියන් කිසිවෙකුගෙන් යැපී යැයි මම නොසිතමි.) එහෙත් එසේ නොවන බොහෝ පිරිසක් ද ඔබත් මමත් සිටින මේ ඉර හඳ යට සිටින බව පිළිගත යුතුමය.

ඉහත රුපය මට ලැබුනේ මුහුණු පොතෙනි. එහි සත්‍ය හිමිකරුට එහි සියලු ගෞරවය හිමිවිය යුත්තේය. මන්ද වචන සියගණනක් හැගීම් එක මොහතකින් කියවෙන ලෙස නිර්මාණ කර ඇති නිසාවෙනි. මෙකි චිත්‍රය මහා සමාජීය යථාර්තයක් අපුරුවට චිත්‍රණය කරයි.ගැලරියේ දිළිඳගේ රුපය දෙස පොර කකා බලන මිනිසුන්ට ගැලරියෙන් මෙපිට සිටින දිළින්දා නොපෙනීම කනගාටුවකි. ගැලරියේ දිලින්දගේ රුපය දෙස බලාගෙන සිටින ඔවුන් මිපිට සිටින එමිනිස ඉදිරියෙන් බර සපත්තු අඩි තබමින් ඇවිද යන්නෝය. විශාල මුදලක් ගෙවා ගැලරියට ඇතුල්වී දිලින්දගේ රුපය බලන මිනිසුන් එලියට විත් අතේ ඇති මාරු කසියෙන් අවමය තොරා දිලින්දට දික් කරනු ඇත. සමහරවිට කිසිවක් නොදෙනු ඇත.

ගැලරියේදී මේ රුපයට අප්‍රමාණ විචාර ශිල්පීය දකෂතා ඇගයීම් සිදුව්වෙද්දී, මේ රුපයේ සිටින මිනිසාට ලැබෙන දෙගන සිතාගත නොහැක. මේ මිනිසා වෙනුවෙන් බොහෝ දෙන ගැලරියේදී දුක් වනු ඇත, අවාසනාවන්ත ඉරණම ගැන කතාකරමින් බොහෝ සුසුම් හෙලනු ඇත. මේ දරිද්‍රතාව ගැන බොහෝවිට කතාකරන්නේ දේශපාලකයින්ය. දරිද්‍රතාව නැතිකිරීම ගැන පුරසාරම් දොඩන කාලය වැඩෙහි යෙදෙව්වනම් මේ වන විට බොහෝ ප්‍රතිපල නෙලගතහකිව තිබිණි. බොහොමයක් දෙන දුප්පතුන්ට යමක් දීමට පසුබට නොවෙති. ඒ වූ කලී ලාංකීය අපගේ හදවතේ තෙතමනයයි.


කලාගාරයකදී දිළින්දන් වෙනුවෙන් සුසුම් හෙලන අප ඉන් පිටතදී දිළින්දන් වෙනුවෙන් යමක් කරන්නට දෙවරක් සිතනවා නේද? දිළින්දන්ට කෑමට ඇමක් දීම භාවිතාකර ඉවතලන ඇඳුමක් දීමට එහ ගිය දෙයක ඔවුන් වෙනුවෙන් කරන්නට හැකිනම්.

මෙවනාහි සම්ප්‍රදායයි දිළින්දන්ට සත්කාර කිරීමෙන් ඔබ්බොට ගියවලුන් වෙති.




ඔබට හ මට ලොකු දේවල් ඉක්මනින් කිරීමට නොහැකි වනු ඇත. එනමුදු අපේ පුංචි උත්සහයක් ලොව වෙනස් කිරීමේ පළමු පියවරක් වනු ඇත. දුප්පතුන් වෙනුවෙන් ආකල්පමය වෙනසක් අත්‍යවශ්‍ය වේ.

Thursday, January 17, 2013

යුද්ධයකට පසු


මේ පින්තුරය අද මුහුණු පොත බලද්දී ලැබුනේ. මේකේ ඇත්ත අයිතය ඇත්තේ කාටද කියල දන්නේ නෑ. එත් එමක මම ගත්තේ මෙන්න මෙතනින්.
https://www.facebook.com/photo.php?fbid=491675017538347&set=a.197110776994774.43033.193218727383979&type=1&theater


අපිත් අවුරුදු 33 යුද්දෙක පැටලිලා බැට කාපු ජාතියක්. රටේ යුද්දයක් නිසා අපි හැමෝටම එකේ ප්‍රති විපාක අඩු වැඩි වශයෙන් විඳින්න උන. මටත් දන්න තේරෙන දවසේ ඉඳල ප්‍රවෘත්ති වල ඉස්සර වෙලාම දීපු පුවත තම යුද්දේ update එක. පොඩි ළමයාගේ ඉඳල වියපත් වැඩිහිටියා දක්වා යුද්දය ලේ මස් අට නහර වලට ජීර්ණය කරවල තිබ්බ යුගයක අපි ජීවත් උනේ.

යුද්දයෙන් පස්සේ අපිට මොනාද ඉතුරු උනේ? අපි එක ගැන වෙනම කතා කලයුතු ලොකු මාතෘකාවක්. එත් මේ ඉහත පින්තුරෙන් පෙන්නනදේ යුද්දෙන් අපිට ඉතුරු කරපු දෙයක්. වචන සීයකින් නැත්තම් අකුරු 1000ක් නැතුව එක පාරින් මේදේවල් කියවෙනවා. මේ පවුලේ අම්මා ගේ අත පැටලෙන්නේ හිස් කෝට් එකක හමුදාවේ නිල ඇඳුමක. නිල ඇඳුමට එක තොප්පිය පුංචි පුතා ගෙන. මේ පින්තුරේ අපේ රටේ එකක් නෙවි. එත් යථාර්තය අපිටත් පොදුයි. ඔය වගේ අසම්පුර්ණ පවුල් කීයක් පහුගිය අවුරුදු 33 අපේ රටෙත් නිර්මාණ වෙන්න ඇති ද? ඊළඟ පින්තුරේ බලන්න.



(අන්තර්ජාලයෙනි)


මම මේ පින්තුරේ හඳුන්වන්න කැමති උද පින්තුරේ ලාංකීය පරිවර්තනය හැටියට. මේකේ ඉන්නේ මේජර්  ලලිත් ජයසිංහ රණවිරුවාගේ බිරිඳ හ දියණිය. දියණියගේ මුල් අකුරු කියවීම. දියණියගේ අකුරු කියවීමට ඒ ශ්‍රේෂ්ට පියා වෙනුවට ඉන්නේ ඔහුගේ පින්තුරය. මේ දියණිය අගේ පියා දැකල නෑ. ඇගේ අම්මාට සදාකාලික සුදු සාරියක් උරුම කරමින් ඔහු ජීවිතෙන් සමුගෙන. ඒ ඔහුගේ උවමනාවට වත් ස්වභාවිකව සිදු වූ මරණයක් නොවේ.  ඔහු  තම උපන් රටේ ඒකීය භාවට උදෙසා ජීවිතය පූජා කල උදාර මිනිසෙක් ලෙස හැමදාම ඉතිහාසයේ ඉඳීවි.

මේ ඉහල හා පහල පින්තුර වල ඉන්න ගැහැනුන් දෙදෙනාම යුද්දයේදී ඉතිහාසයට එක වූ ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් තරම්ම ශ්‍රේෂ්ඨයි.  මම එහෙම කියන්නේ තවත් මිනිසුන් විශාල පිරිසකගේ උන්නතිය උදෙසා තමන්ගේ ජීවිතයේ වටිනාකම් කැපකරන්න තරම් හැම ගැහැනියක් ම පරාර්ථකාමී නොවන නිසා. අවංකව ගැහැනියක් බිරිඳක් මවක් ලෙස මට උනත් එවන් පරිත්‍යාගයක් කිරීමට තරම් පරාර්ථකාමී සිතක නෑ.  එනිසා මේ පින්තුර දෙකේම ඉන්න ගැහැනුන් දෙදෙනාම එවන් උත්තරීතර හදවත් ඇති අය ලෙස  හදුන්වාදෙන්න පුළුවනි.

යුද්දයක් අවසාන වෙන්නේ එක පාර්ශවයකට ජය හ අනෙක් පර්ශවයට පරාජය දෙමින්. එත් යුද්දෙදි මියගිය රණකාමීන්ගේ පවුල් වලට තම ලබැඳියගේ මරණය වෙනුවෙන් ඇති වූ ශෝකය සදාකාලිකයි. යුද්දයකදී මිය යන රණකමියෙක් වෙනුවෙන් තවත් බටයෙක් ආදේශ කරන්න වැඩි වෙලාවක් යන්නේ නෑ. එත් ඔහුගේ පවුලකට පියෙක් සැමියෙක් පුතෙක් ආදේශ කරන්නට හැකි කෙනෙක් මේ මිහිපිට නැත. ඉහල පින්තුරයේ සංවේදී පවුලේ ඡයාරුපයත් මුල් අකුරු කියවන දියණියගේ ඡයරුවත් පවසන්නේ එකම කතාව මය.

තවත් පැත්තක් තිබේ. මේ දරුවන් දෙදෙනාටම පිය අහිමි වන්නේ ඔවුන්ගේ පියවරුන් ගේ පුද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් සටන් කිරීමේදී නොවේ. දේශයක් එසේ නොමැතිනම් බොහෝ මිනිසුන් පිරිසකගේ යහපත වෙනුවෙනි. තවද මේ දරුවන් කිසි දිනක පියසේනේසහක් නොවිඳිනු ඇත. කවුරු මොනවා කෙසේ කීවත් මම යුද විරෝධියෙක් වෙමි.  යුද්ධයෙන් වන විනාශය අනිත් සියලු දනාත්මක තර්ක පරදවා ඉදිරියට එයි. යුද්දයකට මැදි වී අපේ රටට අහිමි වූ දේ බොහෝය. ඉන් අපි "ජයග්‍රහණය" කරමින් අපට ලැබුණු දේවල අතර ඉහත ඡයරූ වලින් පෙන්වන දේවල ද තිබෙන බව අද බොහෝ දෙනාට අමතක වී ඇත.









Tuesday, January 15, 2013

"රිසනා වෙනුවෙන්" තවත් රිසානා කෙනෙක් බිහි නොවන්නට



(අන්තර්ජාලයෙන් උපුටා ගන්න ලදී)

රිසානා ගේ හිස ගස දැමීමේ පුතාව දැන් පරණ එකක් කියා ඇනෝ කෙනෙක් සුදීක අය්යා රිසාන ගැන ලියල තිබ්බ පොස්ට් එකේ කොමෙන්ට් කරලා තිබ්බා. එත් මේක රිසානා වෙනුවෙන් කිව යුතුමයි. රිසානා වගේ මැදපෙරදිග ගිහින් තමන්ගේ ශ්‍රමයෙන් තම මව් රට පෝෂණය කරන තවත් දහස් ගණනක් වූ ශ්‍රී ලාංකීය සහෝදරියන් වෙනුවෙන් මෙසේ ලියා තබමි.

9 වෙනිදා  මධ්‍යහන 12 ට පමණ රිසනා නෆීක් හිස ගස දමා මරණ දණ්ඩනය නියම කරන ලද බව දැනගන්නට ලැබිණි. මහත්සේ දුකක් සිතට දැනුනේ හරියට මගේ හිතෛශියෙක් ගේ මලගමක් සැලවූ ලෙසමය.
මාතලන්, උමා හා තවත් අය රිසනා වෙනුවෙන් ලිය තිබු posts දුටුවෙමි ඇත්තටම හද කම්පා කරවන තරම සංවේගයක් ඇතිමුත් කරන්නට කිසිවක් නොමැති බව හැගෙන්විට ඊටත් වඩා වැඩි දුකක් ඇතිවේ. රිසානා වෙනුවෙන් විවිද ඇය විවිද දේ කරන්නට දැන් ඉදිරිපත්ව ඇත. රිසානාගේ මරණට දුක්වන ඒ පවුලට උදව් දෙන්න අවැසි මුත් ඉන් එහාට  දෙයක් සිදුවනු දක්කනට නැති එක ගැන නම් ඇත්තේ රිසානා ගේ මරණය තරම්ම බලවත් පසුතවිල්ලකි.

ප්‍රභාකරන් කිව්වා වගේ ශ්‍රී ලාංකිකයන්ට හැම දේම මතක ඇත්තේ දින කීපයක් වන නිසා මේ දවස් ටිකෙන් රිසානාගේ මරණයේ උණුසුම පහව යනවිට සියල්ලෝ සියලු දේ සතුටින් අමතක කරනු ඇත තවත් සිද්ධියක් පමණක් ඉතිහාසයට එක වී තිබේ. මෙය අවසානය නොවේ.රිසානාගේ මරණය නිසා වෙන් මැදපෙරදිග රැකියා සොයා යන්නවුන් නොනවතිනු අත. හෙටත් අනිද්දටත් මතුවටත් තවත් රිසානාල ගෘහ සේවයට රටින් පිට වනු ඇත. බාල වයස්කරයෙක්ගේ සැබෑ වයස වෙනුවට වැඩි වයසක් යොදා ව්‍යාජ ලියවිලි සාදා හෙටත් දරුවන් පිටරටට යැවෙනු ඇත. මෙතරම් ලොව තාක්ෂනය දියුණු ලොවක ව්‍යාජ ගමන් බලපත්‍රයක් හදුනා ගත නොහැකි අගමන විගමන දෙපාර්තමේන්තුවක් ගැන ලජ්ජා විය යුතුය. එසේ නොවේ නම් මේවා නොදැක්ක සේ සිටින්න උන් විය යුතුය.

මතුවට මෙවන් දේ නොවන්නට නම් තවත් රිසානලගේ ජීවිත අනතුරේ නොහෙලන්න ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතව පෙනේ. මොනයම් සේවකට රටින් පිට වන්නට පෙර විදිමත් කර්යන්ෂයක ලියාපදිංචියක් අනිවාර්‍ය කිරීම අත්‍යවශ්‍ය කරුණකි. ලියා පදිංචි වෙන්නන් හට මනා විදේශීය භාෂා පුහුණුවක් ලබාදීමට කටයුතු කරන්නේ නම් විදේශයකදී සිදුවන සන්නිවේදන ගැටළු අවම කර ගැනීමට හේතු වේ. ඉහත විස්තර කරන ලද ලියා පදින්චියෙදී ශ්‍රමිකයා විදේශගත වීමට බලාපොරොත්තු වන රැකියා ක්ෂේත්‍රයේ නිපුණතාවය පරික්ෂා කිරීම අත්‍යවශ්‍ය වන අතර අදාල නිපුණතා මට්ටම් ඒ ඒ රටවල් අනුව වෙන් වෙන් කොට ඊට ගැලපෙන පරිදි ලකුණු දීමේ ක්‍රියා පිළිවෙතක් සකස් කිරීමෙන් අදාල රටේ අවශ්‍යතාවට අනුව පුහුණු ශ්‍රමිකයන් ඒ ඒ රටවලට අනුයුක්ත කල හැක.මෙවන් ලියාපදිංචි කිරිමක් මන පුහුණු වැඩ පිළිවෙලක් තිබුණි නම් බාලවයස්කාර රිසානාට ගෘහ සේවයට විදේශගත වීමට නොහැකි වනු ඇත.

විදේශගතවන සියලු ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන්ට රජයෙ මැදිහත් කමින් රක්ෂනවරණක් ලැබෙන්නේ නම් එය වඩා යෝග්‍ය කරුණක්ලෙස පෙනෙයි. තවද අත්‍යවශ්‍ය කරුණක් වන්නේ ඒ ඒ රටවල් වල නීති පද්ධතිය  ගැන අඩු තරමේ සමාජීය වටපිටාව ගැනවත් දැනුවත් කිරීම මෙරටින් පිටවන ශ්‍රමිකයාගේ යහපතට හේතුවේ. තම සේවය කිරීමට යන රටේ නීතිය කම්කරු අයිතිවාසිකම් මානව හිමිකම් ගැන මුලික දැනුමක්වත් ලබා මෙරටින් පිටවෙනවා නම් අඩුම තරමේ තමාට එරෙහිව අසාධරණයක් සිදුවෙද්දී පවා ඒ වෙනුවෙන් යම් පියවරක් ගැනීමට පුළුවන. අසාධාරණයක් වෙනුවෙන් හඩක් නැගීමට අඩුම තරමේ තමාට අසාධාරනාක් වන බව දත යුත්තේය.

අත්‍යවශ්‍ය කරුණ වන්නේ තමාට ගැටළුවක් හෝ කරදරයක් සිදුවූ විට පිහිට පතන්නේ කොහෙන්ද යනවගය.  නීතිමය ගැටළුවක් නම් උපකාර ලබන්නේ කෙසේද යනවග. තානාපති කාර්යාලය මෙයට ඍජුව මැදිහත් වන්නේ නම් එවන අවස්ථාවකදී භාෂා පරිවතන ගැටළු වැනි ඒ අවම කරගත හැක. මෙවන් වැඩපිළිවෙලක් තිබුනිනම් රිසානාගේ කතාව මීට වඩා වෙනස් ලෙසින් ලියවෙනු ඇත.

රිසානා මෙන්ම මදපෙරදිගදී හිංසනයට ලක්වූ අපේම සොයුරියන බොහොමයක කතා මීට වඩා වෙනස ලෙසින් විසදීමට ඉඩ තිබිණි. අවශ්‍ය වන්නේ ඒ පිලිබඳ යොමුවීම පමණි. වසරකට විදේශ ගත ශ්‍රී ලන්කීයන් උපයන මුදල $$$$$$$$  යයි පුරසාරම් දෙඩීමෙන් පලක් නැතිබව දැන් වත් අවබෝධ වනවානම්. හෙට දිනයේදීද ඉසුරු සොයා කටුනායකින් එතෙර පියාඹන ලන්කීයන්ගේ ජීවිත සුරක්ෂිතවනු ඇත.









Wednesday, December 12, 2012

තිත්ත මව් කිරි

   
අන්තර් ජලයෙන් 
 අදත් අම්මා පොළේ ගිහින් තියෙන්නේ පුංච් පුතා නැගිටින්න කලින් අනේ අම්මේ ඇයි මට නොකිය ගියේ? පුංචි පුතාට හරිම දුකයි. දවසම ආච්චි එක්ක ඉන්න කම්මැලි. එයටත් ලෙඩ මගෙත් එක්ක සෙල්ලම කරන්න එන්න බෑ. හෝදල දාපු අම්මගේ ඇඳුම් වලත් අම්මගේ සුවඳ තියනවා ඒවා ඉල්ලන්නේ කිළුටු ගාන්න නෙවි. ඒවත් එක්ක ඉන්නකොට පුංචි පුතාට දැනෙන්නේ අම්මා ඉන්නවා වගේ. එත් ඒවායේ කිළුටු ගාවයි කිල ආච්චි පුංචි පුතාට ගැහුවා. ඒ පාරවල් පුංචි තට්ටම් වල තාම තියනවා. තම කතා කරන්න බැරි උනාට පුංචි පුතාට හරි දුකයි. කතා කරන්න පුළුවනි නම් එයා ආච්චිට කියනවා අම්මා ගේ ඇඳුම වල තියන අම්මගේ සුවඳ එයාට තුරුල් කරගෙන ඉන්න කොච්චර ආසයි ද කියලා. අම්මා එක්ක පොළේ යන්න අසයි එත් එක්ක යන්නේ නැනේ. අම්මට පොළේ හඳුන් කූරු විකුණා ගන්න ඕනි. එය වික්කේ නැත්තම් පුංචි පුතයි අම්මයි ආච්චි ඔක්කොමල බඩගින්නේ. පුංචි පුතාට අබුන් ගන්න ඕනි කුක්කු පිටි ගන්න ඕනි. අම්මාට පුතාගේ බර ඉහටත් උඩින්.

   පුංචි පුතාගේ අම්මට ආදරය විවාහය කියන ජීවිතේ ලස්සන සන්ධිස්ථානය වැරදුනා. ආදරය කියල තමන් ලොකු රැවටීමකට අහුවුණා කියන එක දැනගන්න කොට පුංචි පුතාටත් අවුරුද්දක් වෙලා. අපහු ජීවිතේ හරිගස්ස්ගන්න පුළුවන් තැනක නෙවි එයා උන්නේ. පුංචි පුතාගේ ආච්චි එක්ක පුතා වඩාගෙන එලියට බැස්සේ කොහොමහරි දරුවා හදාගෙන ජීවත් වෙන අරමුණින්. එදා ඉඳල පුතාව පුංචි කරත්තේ තියාගෙන පොළේ හඳුන් කූරු වික්කා. එත් දැන් පුතා ලොකුයි. එයාට දැන් අවුරුදු 2ක් වෙලා දැන් එය හැමතැනම දුවන පනින වයස පොළේ එකතැනක ඉන්න අමාරුයි එයාව එක්ක ගියාම. එනිසා අලුත් නවාතැනක් හොයාගෙන ආච්චි එක්ක පුංචි පුතා නවත්තල අම්මා පොළේ යන්න පුරුදු උනා.

අලුත් නවාතැනට පුංචි පුතා කැමති. ඉස්සරහ ගෙදර නැන්දයි මාමයි පොඩි අක්කයි එයාල තමයි පුංච් පුතාලට මේ කාමර කෑල්ල කුලියට දීපු අය. නැන්ද නම් පුංචි පුතාට ආදරෙයි ගෙදර හදපු දේවල් දීල හුරතල් කරලා වඩාගෙන නිදි කරන නිසා පුංචි පුතා නැන්දට හරි ආදරෙයි. මාමා නම් ටිකක් සැරයි. එත් පුංචි පුතා මාමා ලඟට දුවන්නේ තාත්තා ගේ සෙනෙහස පොඩ්ඩක හරි විඳින්න. මාමාගේ වැඩට පුංචි පුතා වෙලාවකට හරි වදයක් එහෙම වෙලාවට මාමා පොඩ්ඩාගේ කණ මිරිකලා එහෙම නැත්තම් පාරක් ගහනවා. පුංචි පුතාට කතා කරන්න බැරි නිසා කවුරුත් ඒවා දන්නේ නැ. පොඩි අක්කගේ නම් ලොකු ආදරයක නෑ දවසක් පුංචි පුතා එයාගේ අත පල නිසා එයා වැඩි ආශ්‍රයට එන්නේ නෑ.

පිටි පස්සේ ගෙදර ඉන්නවා සුදු නංගියෙක්. පුංචි පුතා නංගිට හරි අදරෙයි. නංගිත් එක්ක සෙල්ලම කරන්නත් අසයි. සුදු නංගිව බලාගන්න කට්ටිය ගොඩාක් ඉන්නවා. අම්මා තාත්තා සීයා ආච්චි වැඩට ඉන්න දෙන්න ඒ කවුරුත් එයාට අදරෙයි. නංගියෙක් උනාට සුදු නංගිගේ අම්ම එයාට කියන්නේ මගේ සුදු පුතා කියල. පුංචි පුතාට හරි දුකයි. ඉඳල හිටලවත් පුතා කියල එයාට කතා කරන්නේ සුදු නැගී ගේ අම්මයි ආච්චි තමි. එයාලත් පුතාට ආදරෙයි. සුදු නංගිගේ අම්මා නංගිට මොන හැදුවත් පුංචි පුතාටත් දෙනවා. පැණි රහ කෑම පලතුරු එහෙමත් දෙනවා. දවසක් පුංචි පුතාට අම්මා දර කෑල්ලක් අරන් ගැහුවා. ඒ වෙලාවේ ඉස්සරහ ගෙදර නන්දා ඇවිත් බේරාගත්තේ. එදා පුංචි පුතාව වඩාගෙන ගෙට ගෙනියල අම්ම කුක්කු දීල තුරුල් කරන් දොයි කලේ සුදු නංගිගේ අම්මා. එදා ඉඳල පුංචි පුතා සුදු නංගිගේ අම්මව දැක්ක ගමන් අම්මා කියන්න පුරුදු උනා. එත් පුංචි පුතාගේ අම්මා සුදු නංගිගේ අම්මා එක්ක තරහ උනේ මෙනිසමයි.

පුංචි පුතා ආසම උනේ අම්මා එක්කම ඉන්න අම්මා ලඟට වෙලා ඉන්න. කුක්කු බීල හුරතල් වෙන්න අම්මට කියලා බයි කවාගන්න. එත් අම්මට එහෙම ඉන්න බෑ කියල පුංචි හිතට තේරෙන්නේ නෑ. උදේ පාන්දර අම්මා එයා නැගිටිනත් කලින් යන්නේ පුංචි පුතා අම්මා යද්දී අඬන එක අම්මට ලොකු වදයක් නිසා. පොලට යන්න පරක්කු උනොත් බඩු විකුණා ගන්න ලැබෙන්නේ නෑ. පුංචි පුතා අඬනකොට පාරක් ගහල හරි දාල යන්න හදන්නේ එනිසා. පොළේ ගිහින් අවත පුතාව තුරුල් කරන හුරතල් කරන්න තරම් එයාට නිවාඩුවක් නෑ. එයාට එච්චර නිදහසේ දරුවත් එක්ක ඉන්න ඕනි කමකුත් නෑ. රෑ වෙලා ආවම පුංචි පුතාගේ ආච්චි රත්කරල තියන මොනව හරි කාල ඇඳට වැටෙන්න තමි එයාට ඕනි අපහු උදේ පාන්දර පොළේ යන්නත් තියන නිසා . එත් පුතා  ආසා අම්මා එක්ක හුරතල් වෙන්න. ඔය වෙලාවට තමි අම්මගෙයි පුතාගෙයි රණ්ඩුව. ඒ වෙලාවට පුංචි පුතා අම්මගෙන් ගුටි කනවා. සුදු නංගි ගේ ගෙදර ඇය මේ රණ්ඩු අහගෙන ඉන්නේ හරිම වේදනාවෙන්. එයාල ඕවට කතා කරන්නේ නෑ කියල තීරණයක් අරන් තිබ්බේ.

"මගේ ළමයට මට ඕනි නම් ගහන්නත් පුළුවනි ඕනි නම් මරනවා" ඔයවගේ ඇනුම්පද පුංචි පුතාගේ අම්මා නිතරම කියනවා සුදු නංගිගේ අම්මාට ඇහෙන්න.එයා එත් මොකවත්ම කියන්නේ නෑ. සුදු නංගිගේ අම්මා හොරෙන් ඇවිත් පුතාට මොනාහරි දීල හුරතල් කරලා යනවා. එයාට හරි දුකයි පුංචි පුතා ගැන. නිතරම හිතන්නේ පුංචි පුතාව අරන් හදා ගන්න දෙනවනම් කියලයි. එත් ඉතින් එක ලොකු වගකීමක්. ඒ ගැන හිතන්න ඕනි පැති ගොඩාක් තියනවා. පුංචි පුතා විඳින දුක දැක්කම කාට උනත් දුක හිතෙනවා. එත් අපි මොනවද කරන්නේ? අවුරුදු 2ක් වයස දරුවෙකුට කොහොමද පාරක් ගහන්නේ. ඔය වගේ බනින්නේ? සුදු නංගිගේ අම්මා කොයි වෙලෙත් එක ගැන හිතල වද වෙනවා.

පුංචි පුතාගේ අම්මට බැනුම් දොස් හැමතනිම්ම. ආච්චි නැන්ද සුදු නංගිගේ අම්මයි ආච්චි හැමෝම බනිනවා. අම්මා පුතාට ආදරේ නෑ කියලමමයි  හැමෝම කියන්නේ. අම්ම කෙනෙක් ට ඔහොම ලමෙකට ගහන්න කුණු හරුපෙන් බනින්න අම්ම කෙනෙකුට බෑ කියල ආඩපාලි කියනවා. පුංචි පුතා උදේට ඇහැරෙන්නේ අම්මගේ යි ආච්චිගෙඉ උදේ රණ්ඩු සද්දෙට එය එකට බයයි ඉතින් එය අඬනවා ඒ වෙලාවට කවුරුත් නින්දෙන් නැගිටලා උදේ වඩා පටන් ගන්න වෙලාව මේ තුන්දෙනාගේ ගෝරනාඩුව වටේ පිටේ යට හිසරදයක්.  අම්මයි ආච්චියි පොඩ්ඩක් වත් මට ආදරේ නැත්තේ ඇයි කියල පුංචි පුතා නිතරම හිතුව. අම්මට මව වදයක් වෙන්න ඇති. පුංචි පුතාට එහෙම හිතෙනවා. එත් එය කරන දේවල් වැරදි වෙන්නේ කොහොමද කියල පුංචි පුතා හිතන්නේ.

එදා වැස්ස දවසක් ආච්චි උදේම්ම ලේ බලන්න ඕනි කියල ගිය. අම්මටත් එදා පොළේ යන්නම ඕනිම දවසක්. අම්ම පුතාවත් ලැස්ති කරගත්තේ වෙන කරන්න දෙයක්ම නැති නිසා. පුතාට බැන බැනඑයත් ඇඳගත්ත. අම්මගෙයි පුතාගෙයි ගෝට්ටිය සුදු නංගිගේ අම්මට ඇහුන අපෝ මහා කාලකන්නි ගැනියෙක් සුදු නගිගේ අම්මගේ හිතට අවේ එහෙම අදහසක්. ඔය ලමයව මර ගන්නවා ඔය ගෑනි ඉස්සරගෙදර නැන්ද කාටදෝ කිව්වා. හැමෝටම මේ අම්මගෙයි පුතාගෙයි ආච්චිගෙයි ප්‍රශ්නවලට මැදිහත් වෙලා එපා වෙලා.

අම්මා පොළේ ගිහින් වැඩිය අව්ව කාරිය වැටෙන්නේ නැති දිහක් බලල වාඩි වෙලා හඳුන් කූරු පෙට්ටි බිමට දාපු ඉටි කොලේක අතුරලා පුලුව තරම් හයියෙන් කෑගහල ඒවා විකුනන්න පටන් ගත්ත වෙනද වගේම. අම්මගේ වෙළදාමට පුතාගෙන් හරි කරදරේ. එහෙට මෙහෙට දුවනවා හඳුන් කූරු පෙට්ටි කඩන්න හදනවා අම්මට වෙළදාමක් ගැන හිතන්න වත් බෑ. වටේ පිටේ වෙළෙන්දොත් මේක බලාගෙන මු නම් දරුවෙක් නෙවි මව කන්න අපු එකෙක් අම්ම පුතාට තරවට්ටු කරන්නේ ඒ විදියට. කම්මැලි කමට දුවගෙන පොළේ ඇවිදින්න ආපු සුදු හමක් තියන නෝනා කෙනෙකුයි මහත්තයකුයි හඳුන් කූරු ළඟ නැවතුනේ ඉර හැරෙන්න ඔන්න මෙන්න තියන වෙලාවට වගේ. අම්ම පුතාවත් එක්ක ඇවිත් නිසා වෙනදටත් වඩා හෙම්බත් වෙලා පුතාවත් අව්වට රතු වෙලා. සුදු ජෝඩුව එක්ක අපු පාර කියන්නා ඉංග්‍රීසියෙන් මොනවදෝ කතාකළ ඒවා මොනාද කියන්න අම්මවත් පුතාවත් දන්නේ නෑ. එත් ඒ කතා කලේ හඳුන් කූරු ගැන එහෙම නම නෙවි කියල අම්මට තේරුණා. සුදු නෝනගේ ඇස තිබ්බේ පුතා ගව කියල පුතාට තේරුනේ නෑ. අම්මා තමන්ගෙන් මිදිලා යන්න හදන පුතාට පාරක් ගහල ලඟට ගත්ත

පාර කියන්නා අම්මට තේරෙන බාසාවෙන් අහපු දේට අම්මට හොඳටම තරහ ගිය බව නම් පුතාට තේරුණා. හැමවෙලේම අම්ම ඉන්නේ තරහින් නිසා පුතා හොඳට එක දන්නවා. එත් වෙනද තරහ ගියාම පුතාට බනින අම්ම එදා පුතාට බන්නේ නෑ. ගැහුවෙත් නෑ.කොළ පාට මොනරු ඉන්න කොළ මිටියක් සුදු මහත්තය අතේ තිබ්බ එයාට අම්ම හඳුන් කූරු විකුණුවත් නෑ. "මගේ දරුවා විකුනන්නේ නෑ මහත්තයා එක මෙයාලට කියන්න." "පොළේ  බඩු විකුනන්න බැරි දාට හිඟා කාල හරි මම ඌට කන්න දීල හදාගන්නම්." අම්මා එහෙම කියල හඳුන් කූරු ටික අස් කරලා බෑග් එකට දාගත්ත. වෙනදට ඔඩොක්කුවට අවම එලවන පුතාව අරන් ඔඩොක්කුවෙන්ම තියා ගත්තා. කවදාවත් නැතුව අම්ම පුතාගේ ඔලුව ඉම්ඹේ ඇයි කියන්න පුතාට තේරුනේ නෑ. එත් අම්මගේ උණුහුම වින්ද සතුටෙන් පුතාගේ හිත පිරිලා තිබ්බ පොඩි ඇත දෙක එකතු කරලා අම්මගේ කම්මුල් අත ගෑවේ එනිසා. අම්මගේ කම්මුල් හොඳටම තෙමිලයි තිබ්බේ.

















Tuesday, December 11, 2012

තාත්තා උනත් මා


මම බ්ලොග් කලාවට  අලුත් කෙනෙක් මේක මගේ පලවෙනි blog Post එක. එක ලියන්නේ අම්ම ගැන ලියපු සිංදුවකින් 

ගීත රචනය සුනිල් ආරියරත්න 
සංගීතය රෝහණ වීරසිංහ
ගායනය පණ්ඩිත් අමරදෙව

මේ සින්දුව මම මුලින්ම ඇහුවේ රූපවාහිනී ටෙලි  සිත්තමකින් මට මතක විදියට එකේ නම් ජීවිතේ ලස්සනෛ හරි ජීවිතේ සුන්දරයි හරි තමයි. ඔය කතාව ගියේ රෑ  7.30 ට වගේ මගේ මතක හැටියට ඒ 2005 අවුරුද්ද 
වසන්ති චතුරාණි, රවින්ද්‍ර රන්දෙනිය දේවිකා මිහිරානි වගේ දක්ෂ නළුනිලියෝ රඟපෑ බොහොම ලස්සන කතාවක්. ජීවිතේ සැන්දෑ සමයට කලින් තමන්ගේ සැමියා මරණය නිසා තරුණ දූවරු 3ක් එක්ක තනිවෙන අම්ම කෙනෙක් තමන්ගේ දරුවොත් එක්ක ධෛර්යයෙන් ජීවිතේට මූණ දෙන හැටි තමා  එකෙ කතාව. කතාවේ හැටියට මේ දරුවන්ගේ තාත්තා 'සුමේධ' ගීත රචකයෙක් (රවින්ද්‍ර රන්දෙනිය ), එයා එයාගේ බිරිඳ වෙනුවෙන් ලියන  ගීතක් විදියට තමයි මේ ගීතය නිමානය වෙන්නේ.

මේක මව් ගුණ ගීයක් එත් අනිත් මව් ගුණ ගී වලට වඩා මේ සින්දුව වෙනස්. සාමාන්‍ය වෙන්නේ දරුවෙක් අම්මගේ ගුණ කියන විදියට තමි ලංකාවේ මව් ගුණ ගී ලියවෙලා තියෙන්නේ. අනිත් ඒව පොදුවේ මව්වරුනේ ගුණ සාගරේ වගේ නිසා එවන් බිඳක් අරන් ගීයක් කියනවා . මේ ගීතයේ පියෙක් තමන්ගේ බිරිඳ ඒ කියන්නේ තමන්ගේ දරුවන්ගේ අම්මා දකින විදිය තමි ලියවිල තියෙන්නේ. ආසියාතික පිරිමි ගොඩාක් දෙනෙක් තමන්ගේ අම්මා ඉතාම ශ්‍රේෂ්ට විදියට දකිනවා එත් තමාගේ බිරිඳ කියන කෙනාට ඒ ගෞරවය ලැබෙනවද කියන එක විමසල බලන්න ඕනි.
සැමියාගේ දරුවන්ගේ වැඩ අස්සේ හැමදාම හිරවෙලා ඉන්න අම්මාවරු අපි අතරේ ඕන තරම් ඉන්නවා එයාලට එයාලගේ කියල වෙන ලෝකයක් නෑ. හුගාක් අම්මල ඒ වැඩ තමාගේ යුතුකම් කියලයි හිතන්නේ. එයාලගේ සතුට තමයි  දරුවන්ගේ සතුට තමන්ගේ සැමියාගේ සතුට. ඒවගේ අම්මල ගොඩාක් ඉන්නවා කෙරුවත් එයාල කරන දේවල් අගය කරන්නේ නෑ. විශේෂයෙන් තාත්තා කෙනෙක් තමන්ගේ බිරින්දෑ ගෙන් වෙන අඩුපාඩු ගැන විටහරක් හිතන කලෙක ඇය තමන්ගේ දරුවන් වෙනුවෙන් කරන දේවල ප්‍රශන්සනතමකව කතා කිරීම නිසා මේ ගීතය විශේෂ වෙනවා.
මේ ගීතයේ සැමියා තමන්ගේ බිරිඳ දකින්නේ අම්ම කෙනෙක් විදියට. ඇය ගැන ඇති වෙච්ච අතිශය පිරිසිදු ගෞරවය මුසු ආදරණීය බවක් මේ ගීතය පුරාම අසන්නට සංවේදනය වෙනවා. මේ ගී පද පෙලට එකතු වෙලා තියන සංගීතයත් අමරදේවයන් ගේ අපූරු ලයාන්විත කට හඬත් ගීතය මගේ හදවතට හුගක් සමීප කලා.
youtube එකෙන් ගත්ත මේ ගීතයේ පද වලත් එක්කම තියන මේ link එක පහලින් තියනවා ගීතය රස විඳින්න.

 http://www.youtube.com/watch?v=YQbu--XtPnI